Tuesday, July 12, 2011

ආන්ත්‍රාවයි...!

ආන්ත‍්‍රාවයි ..!

පුංචි එකාගේ කෑ ගැහිල්ලට කළබල වුන සීලම්මා ඇඟ උඩ ඔට්ටුවෙවී හිටපු සබ්බුවාව තල්ලූ කරල ගවුම සකසා ගත්තා.

‘‘මොකද යකෝ’’

සබ්බුව ආයෙත් සීලව බදාගත්තා.

‘‘අයින් වෙයන්... පොඩි එකා අඬනවා!’’

සීලා ආයෙත් සබ්බුව තල්ලූ කරලා නැගිට්ටා. වස්සෙක් වගේ හති හලාගෙන ඔට්ටු වුනත් සබ්බුව සීලගේ හැටි දන්න හින්දා කාරල කෙල පිඬක් ගහලා පිබිදිලා තිබුණ හැඟීම් ඔක්කොම අත්ලට මිට මොළවා ගත්තා.

සීල ට‍්‍රාන්ස්පෝමර කණු දෙක ගාවට අඩියට දෙකට දිව්වා. පුංචි එකා ඇහැරිලා.

‘‘මොකද රැහැයියෝ කෑ ගහන්නේ... මගේ කිරි නෑ.... හිඳිලා...’’

ඒ වුනත් සීලගේ වියළි පියයුරුවක් උගේ කටේ තිබ්බා විතරයි ඌ ඒක ලවක් දෙවක් නැතිව උරන්න ගත්තා. සබ්බුවගේ වයින් කුයිල ගහන කටට අහුවෙලා පියයුරුවෙ නැගුන දම්පාට පැල්ලම සීල දැක්කෙ දැන්. සබ්බුවට ලේසියෙන් පනින්න බැරි ඉඩමක් ඒක. ඒකිට ඇස් පියවිලා හැගීම් හිස් වෙන වෙලාවක හැර. බස බස ගාලා වේගෙන් පියයුරුව උරවන පුංචි එකාගේ කටෙන් නැගෙන සද්දේ අතරෙම සීලට ඒකි ඌත් එක්ක මාස තුන හතරකට විතර කලින් ඉස්පිරිතාලේ ඉදලා ටිකට් කපාගෙන ට‍්‍රාන්ස්පෝමර් කනු දෙක යටට ආ හැටි මතක් වුනා.

කුරුණෑගල ඉස්පිරිතාලෙන් අලූත් උපන් පැංචවත් කඩමාලූ ගොඩක දවටාගෙන එළියට බැහැපු සීල කොහේ යන්නද කියලා නිනව්වක් නැතිව ඇවිදගෙන ඇවිදගෙන ඇවිත් මේ ට‍්‍රාන්ස්ෆෝමර් කණුදෙක යට වාඩිගත්තා. එදා ඉදලා මේ වෙනකම්ම මෙතන තමන්ටයි පැංචටයි හෙවන උන හැටි සීලා සිහි කෙරුවා. නගර සභාවේ මහත්තුරු ඇවිත් තමුන්ව එළවන ගානේ ආයෙත් මෙතෙන්ටම ඇදුනෙත්, සබ්බුවගේ බෝක්කු කැටේ  ඕනෑ හැටියේ ඉඩ තිබුණත් සීලා එතනට යන්න නොහිතුවෙත් ට‍්‍රාන්ෆෝමර් යකඩ ගොඩ යට වෙන හැම තැනකටම වඩා තමන්ට හෙවණයි කියලා හිතපු හින්දයි. රතුපාට බෝඞ් එකක ‘‘ආන්ත‍්‍රාවයි’’ කියලා සඳහන් කරලා තිබුණත් සීලට එතැන සිල්වා මහත්තයාගේ බංගලාවටත් වඩා සැපයි කියලයි හිතුනේ.

සීලගේ බාප්පා සීලව සිල්වා මහත්තයාගේ ගෙදරට සීලව බාර දුන්නේ දහයේ විභාගයට ඔන්න මෙන්න කියලා. උප්පත්තියෙන්ම ඒකිග‍ෙ එක ඇහැක් අඩවන් වෙලා තිබ්බෙ. බාප්පා ඒකට මූසලකම කියලා කිව්වත් සීලගේ කාමරේට හොරාට ආව සිල්ව මහත්තයා ‘‘ඔය වපරේ හින්දා සීලා පිං පාටයි’’ කියලා කිව්වේ සීලගේ කන්පෙත්ත හෙමීට පිරිමදිනා ගමන්.

ගිඩි ගිඩි ගාලා ගැහී ගැහී හිටපු සීලගේ ඇඟ‍ේ හිරිගඬු පිපුනා. ටික ටික සිල්වා මහත්තයට අවනත වුන සීලම්මා ටික වේලාවකින් යටිබඩ බදාගෙන කෙදිරි ගෑව. සිල්වා මහත්තයාගේ බරපතල සිරුරට යටවුන සීලගේ දළු ඇඟ දාඩිය දාලා තැලිලා පොඩිවෙලා ගිහින් තිබුණ. සීලා ඇඳගෙන හිටපු සුදු ගවුමේ රතු පැල්ලමක්. ඒ වුනත් කජු කිරි පැල්ලම් එමට තිබුණ ඒ ගවුමට ඒ පැල්ලමත් වැඩියක් වුනේ නැහැ මොකද ටික දවසකින් ඒකත් කජුකිරි වාගේම ගුරුපාට ගැහිලා යන හින්දා. ඒත් සීල බඩ වෙලා කියලා දැනගෙන සිල්වා නෝනා ගහපු පාරට ඔළුව පැලිලා ගලපු ලේ පාර නිසානම් ගවුමේ පැත්තක්ම රතුපාට වුනා.

සිල්වා බංගලාවෙන් පන්නපු සීල ඔහේ ඇවිදගෙන ගියා. බාප්පා ගාවට ගිහින් ආයෙත් ගුටිකෑවා. බඩට බාස හයක් වෙනකම්ම සීලා බාප්පාගෙන් ගුටි කකා එතැන සිටියා. ඉවසගන්න බැරිම තැන ටවුමට ආපු සීලව පිළිගත්තේ නන්නත්තාරේ ඇවිද ඇවිද හිටපු හිඟන රැළ. යන්තම් ඇහැට කනට පේන සීල දිහාවට හිඟන ගැටව් වාගෙම මහ එව්වොත් ඇහැ දික්කරාට ආරගෙන එන බඩගෙඩිය නිසා උන් සීලට කිට්ටු වෙන්න ගියේ නෑ. බරෙන් හෑල්ලූ වෙන්න කාලේ ආවම සීලට මහ ඉස්පිරිතාලේ ගාවට යන්න උපදෙස් දුන්නේ රැළේ හිටපු හිඟන්නියෝ. ඉස්පිරිතාලේ ගේට්ටුව ගාවට වෙලා සීලා කරකියාගන්න දෙයක් නැතිව කරකැවුනා. විළිරුදාව ඉවසගන්න බැරිව ඒකි ගේට්ටුව ළග වැතිරුනා. කෑ ගහගන්නවත් බැරිව ගිය සීලා ආයේ සිහි එනකොට හිටියේ වාට්ටුවේ මුල්ලක එලපු ඉටි රෙද්දක් උඩයි. නෙරල තිබුණ බඩගෙඩිය කොළු පැංචෙක් වෙලා සීලගේ පැත්තකින් නිදි. කකුල් දෙක අතුරින් දැනන වේදනාවට ඈට තොල හැපුනා. සීලම්මා පැංචා දිහා බලාන හිටියේ අමුතු දෙයක් දිහා බලනවා වගෙයි. ඒකිට පැංචව අල්ලන්නත් මොකද වගෙයි.

‘‘තමුන්ගේ නම මොකක්ද?”

සීලම්මා ගාවට ආව මිසී කෙනෙක් ඇහුවා. සීල පැංච දිහයි මිසී දිහයි බැලූවා...

‘‘සී... සීලම්මා...’’

‘‘සම්පූර්ණ නම කියනවා...’’

‘‘පටබැඳි හවඩිගේ සීලම්මා...’’

‘‘කවුද... භාරකාරයා... නැද්ද?...හ්ම් මම දන්නැද්ද ඉතින් ඒවා... ආ... මේක බොනවා...’’

මිසී සීලට බෙහෙත් පෙති වගයක් දුන්නා. ඇගේ ගෝරණාඩුවට ඇහැරුන පැංච කෑ දෙන්න වුනා.

සීලට පුදුමයි. පුංචි කටකින් මේ තරම් සද්දයක්. සීලා ආයෙමත් මිසී දිහාව බැලූවා.

‘‘කිරි ටිකක් පොවනවා... මා දිහා බලා නොඉඳ.’’

මිසී එතැනින් යන්න ගියා. සීලා පියුරුවක් පන්නලා පැංචගේ කටින් තිබ්බා. සද්දේ කෙඳිරියක් වෙලා නැවතුනා. පැංචගේ කිරි ඉරවිල්ලට සීලට පුංචි කිතියක් දැනුන. කවදාවත් නොදැනුන අමුතු හැඟීම් ගොඩක් පැංචා ගැන සීලට දැනුනා. කිරි සුවඳ හමන මේ අපූරු සතා තමාගේම කොටසක් නේද කියලා ඈට හිතුනා. සීලගේ කිළුටු ගවුමට යටින් තිබුණ කිරිබරෙන් ඇදුම්කාපු අනිත් පියයුරුවෙන් ගලපු කිරි බිංදුවකින් ගවුමේ තෙත පැල්ලමක් හැදිලා. මිසී දුන්න බේත් පෙති තාමත් සීලගේ අතේ ගුලිවෙලා. වටපිට බලපු ඒකි ඒවා ඇඳ යටට විසි කළා.

සීලට ටිකක් එහායින් ඇඳක තවත් පැංචෙක් කෑගහනවා. තෑගි බෝග අරගෙන ආව නෑයෝ ඌ වටේ වටවෙලා. රෝස පාට කම්මුල් තියන ලස්සන නෝනා කෙනෙක් සීලා වගේම ඒ පැංච දිහා බලාන ඉන්නවා. ඌත් තමන්ගේ එකා වාගේමද දන්නෑ. සුව පහසු තොටිල්ලෙන් පේන ඒ පැංචගේ සිඟිති අතක් සීලට පෙනුනා. පෙනුම කොහොම වුනත් තමන්ගේ එකා වාගේම ඌත් ඉන්නේ අත මිට මොළවාගෙන හරියට ලෝකෙම උගේ අතට ගුලිකරගෙන වගේ.

සීලව දැකපු ඒ පැංචගේ අම්මා මොනවද වගයකුත් අරගෙන සීල ළඟට ආවා.

        ‘‘ආ...’’

සීලට ඒ නෝනා පියරු ටින් එකකුයි සබන් කැටේකුයි දුන්නා. සීලා ඈ දිහාව බැලූවේ විමතියෙන්. ඒත් ඇය ඒක ගණන් නොගෙන ඒවා සීලා ගාවින් තියලා සීලගේ පැංචගේ ඔළුවත් හිමීට අත ගාලා ආපහු යන්න ගියා. සීලා දුටුවා ඒ ඇත්තිගෙත් හැට්ටෙත් පියයුරු තුඬුවලින් තෙත පැල්ලම් ගැහිලා තිබුනු හැටි.

පැංචව සුදු පාට වෙනකම්ම පවුඩර් උලපු සීලා ආයෙත් මිසීගෙන් බැණුම් ඇහුවා. ටිකට් කැපුවට පස්සේ පියාගේ නමට කෙලින් ‘‘නොදනි’’ කියලා ලියපු උප්පැන්න පෝරමයකත් උණ්ඩි කරන් ඒකි පැංචවත් අරගෙන ආයෙමත් පාරට බැස්සා. ටවුම මැද්දේ ඇවිදගෙන ගියපු සීලට කලන්තේ වගේ දැනුන. වැඩිපුර මිනිස්සු නොගිය පාරක් දිගේ ගියපු සීලා කණු දෙකක් උඩ තිබුන ට‍්‍රාන්ස්ෆෝමරේ හෙවන දැකලා නැවතුනා. එහායින් තිබුනා බෝක්කු කැට දෙක දිහාවටත් නොගිහින්. එතන නැවතුනේ ඒකිට ලයිට් කණු දෙක අතරේ තිබුණ ඉඩකඩට හෙවනට ආස හිතුන හන්දා. අහළින් පහළින් හොයාගත්ත කාඞ්බෝඞ් පෙට්ටි වලින් වටේට හෙවිල්ල ගත්ත සීලම්මා පැටියත් එක්ක කාඞ්බෝඞ් පෙට්ටියකම ඇලවුනා. සිල්වා බංගලාවටත් බාප්පාගේ දිහාවටත් වඩා හෙවනක් නිදහසක් යකඩ ගොඬේ හෙවන යට ඒකිට දැනුනා. පැංචවත් තුරුළු කරගෙන නින්දට වැටුන සීලා ඇහැරුනේ කවුරු හරි තමුන් දිහා බලාන ඉන්න බව ඉවෙන් දැනිලා වගෙයි. ඒ සබ්බුවා.

        ‘‘උඹ...’’

සබ්බුවා කෙඳිරුවා. සීලා මීට කලින් ඌව දන්නවා. ඌ හිඟන රැුළෙන් වෙන්වෙලා හිටපු එකෙක්. උඩුතොලේ පැත්තක් අඩු නිසා කතා කරනකොට තල් තල් ගාලා සද්දේ එන සබ්බුවා සීලට හොඳට මතකයි. ඇඟපත හොඳට තිබුණට හිඟමනට හොරවුන සබ්බුව ලගින්නේ සීලට අඩි පහ හයකට එහායින් තිබ්බ බෝක්කු කැටේ කියලා ඒකි දැනගත්තේ පැංච දිහාවටත් ඔරවපු ඌ ඒක ඇතුළට ගිහින් නිදාගත්ත පාරයි. සීලා සබ්බුවා ගියාට පස්සේ පැංචව එහාට කරලා වාඩිවුනා. ඉස්පිරිතාලෙන් හම්බවුන පාන් කෑල්ලක් සීල ගාව තිබුනා. ඒකි ඒක හෙමිහිට හෙමිහිට විකන්න ගත්තා.

x               x               x

සබ්බුවා වාගෙම සීලත් හිඟමනේ ගියා පැංචවත් අරගෙන. මිනිස්සු ඔරව ඔරවා වුනත් කීයක් හරි දෙන්නේ පැංචා නිසා කියලා ඒකි දන්නවා.

දවසින් දවස ගෙවිලා යනකොට සබ්බුවා සීලම්මා දිහාව වැඩිපුර බලන්න ගත්තා. වතාවක් සීලම්මව කළුවරේ බදාගන්න හදලා ඒකි සබ්බුවාගේ උරහිස විකපු නිසා ඌ එතැනින් පස්සේ සීලට පරිස්සමට කිට්ටුවෙන්න හිතාගත්තා. බලහත්කාරයෙන් සීලම්මව නම්මාගන්න අමාරු බව ඌ දැනගත්තා. ජීවිතේට ගෑණියක් ගාවට ගියේ නැති සබ්බුවට සීලම්මව පෙනුනේ රැුජිණක් වගේ. ඒත් සීලම්මා සබ්බුවා ගාවට ගන්න හිතුවේ නෑ. ට‍්‍රාන්ස්ෆෝමරෙන් වෙන තැනකට යන්න හිතුවෙත් නැහැ. ඒකිට සබ්බුව ගැන බයක් තිබුණේ නැහැ. මොකද ඌට වාගේම ඒකිටත් පැදුරෙන් බිමට වැටෙන්න දිහාවක් නෑ.

නොහිතුව දවසක නොහිතුව විදිහට සීලම්මට සබ්බුව ගාවට යන්න සිද්ධ වුනා. හැබැයි අකමැත්තෙන්නම් නෙවෙයි. එදා ? වැහැපු අනෝරා වැස්සට ට‍්‍රාන්ස්ෆෝමරේ යටට වතුර ගලන්න ගත්තා. පැංචත් එක්ක සීතලේ ඉන්න බැරිව ඒකි සබ්බුවගේ බෝක්කු කැටේ දිහාවට දිව්වා. දෙගිඩියාවෙන් වාගේ බලා හිටපු සීලා පැංචවත් අරගෙන බෝක්කු කැටේ ඇතුළට රිංගුවා. සබ්බුවා කඩමළු සරම ඔළුවේ ඉඳන් පොරවගෙන නිදි. සීලා එළිය බැලූවා. බෝක්කු කැටේට පහතින් වතුර දෝරේ ගලනවා.

කඩමාළු වලට ගුළිවුන පැංචා හොඳටම නිදි. ඒත් සීලා හොඳටම තෙමිලා. සබ්බුවා නිදිද කියලා සැක හැරගත්ත සීලා ගවුම ඔළුවෙන් පැන්නුවා. වතුර මිරිකලා ආයෙත් ඇඳගත්තා. ඒත් සීතල උහුලගන්න බැහැ. සීලගේ ඇස් යාන්තමට පියවුනේ නිදිමත හින්දා. සබ්බුවා නැගිට්ටේ එතකොටමයි. මුලදි අන්දුන්කුන්දුන් වුනත් සබ්බුව ඒ සීලම්මා කියලා දැනගත්තා. මොහොතක් බලා හිටපු ඌ සීලව අතින් හෙලෙව්වා. ඒකි තිගැස්සිලා ඇහැරුනා. ඒත් දුවන්න හැදුවේ නැහැ. සබ්බුවා ඒකිව ඇදලා ගත්තේ ඒකිට අද තමන්ගෙන් මිදෙන්න  ඕන නැහැ කියලා දැනගෙනම වගෙයි. සීතල ගවුම් කඩමාල්ල ඇදලා විසි කරපු සබ්බුවා ඒකිව තමන්ගේ උණුසුමට තදකරගත්තා. සබ්බුවගේ මුවින් ගලපු වයින් කුයිලට සීලම්මා නහය අකුළගන්නේ නැතිව අත්දෙකෙන් ඌවත් තමන්ට තව තද කරගත්තා.

x               x               x

සීලම්මාගේ වේලිච්ච තනේ හූරලා කිරි ටික බීපු පැංචා හොඳටම නිදි. සීලා පැංචගේ බඩ අතගෑවා. ඒකේ වැඩිපුර තිබුනේ හුළං කියලා සීලා දන්නවා. අතීතෙන් මිදුන සීලට ආයෙත් සබ්බුවා ගාවට යන්න හිතුනත් ඒකි පැංච ගාවින්ම ඇල වුනා. සබ්බුවා එක්ක නිදාගන්න ගියාට ට‍්‍රාන්ස්ෆෝමරේ යට තරම් තමන්ට ආරක්‍ෂාවක් නෑ කියලා හිතලද මන්දා සීලම්මා වැඩිපුරම ගත කලේ එතන. වටේටම කාඞ්බෝඞ් අහුරපු සීලම්මගේ මාළිගාව ඒකිට අගේ වුනා.

නගර සභාවේ මහත්තුරු තරම් සීලම්මට එපා කරපු තවත් උන් හිටියේ නෑ. ඒ අය ඇවිත් පන්නන ගානෙම ආයෙත් සීලම්මා ඇදුනේ ට‍්‍රාන්ස්ෆෝමරේ යටටම විතරයි. සබ්බුවා පැංචට ඒ තරම් කැමති නැති නිසා ඒකි ඌ ගාවට පදිංචි වෙන්න යන්න කොහොමටත් කැමති වුනේ නැහැ.

මේ අතරෙදි සීලා ආයෙමත් ගැබ්බර වුනා. ඒක දැනගත්ත සබ්බුවා ‘‘හ්ම්’’ ගෑව විතරයි. හිඟා ගත්ත දෙයින් මොන මොනව හරි සීලට දෙන්න ඌ නොහිතුව නෙවී. මෙලෝ මිනිහෙක් නොබලන තමන්ගේ මූණ  දිහා බලපු සීල ගැන සබ්බුවා ගාව උණුහුමකට වඩා වැඩිදෙයක් තිබුනා. ඒත් රැුහැයියෙක් වාගේ කෑගහන පැංචාට නම් සබ්බුවාගේ වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. පැංචව ට‍්‍රාන්ස්ෆෝමරේ යට තියලා සීලා විතරක් ?ට තමන් ගාවට එනවට ඌ හුඟක් කැමති වුනා.

වෙලාවකට පාරේ තියන පත්තර කෑලි අහුලගෙන කියවන සීලා දිහා සබ්බුව බැලූවේ විමතියෙන්. මල පොතේ අකුරක් නොදන්න තමන්ට වඩා තමන්ගේ ඇඟට යටවෙලා හති හලන සීල ගැන පුංචි පක්‍ෂපාතකමක් උගේ හිතේ ඇති වෙන්න ඒකත් හේතුවක් වුනා. ඒත් පත්තර වලට කුසගිනි නිවන්න බෑ කියලා ඌ දන්නවා. පැංචව නිදිකරද්දී කියන නැලවිලි වලටනම් ඌ ආසයි. ඒවට සබ්බුවගේ රතුපාට ඇස්දෙකත් හිමීට පියවෙන්නේ නිකම්ම. නිදාගන්න ඇවිත් සබ්බුවාගේ උණුසුමට තුරුළුවෙලා ටිකකින් ආයෙමත් පැංචා ගාවට දුවන සීලම්මා සබ්බුවා එක්ක වචන දහයක්වත් කතා නොකරන තරම්. ඒත් සීලා ගැබ්බර වෙලා කියලා තමුන්ට කියපු වෙලාවේ ඒකිගේ ඇස් වල තිබුන අමුතු කාන්තිය ඌ දැක්කා. කවදාවත් නොතිබුණ පිං පාටක් බැඳීමක් ඒකිගේ මූණේ තිබුනා. සබ්බුවගේ හිත නොසන්සුන් වුනා.

සබ්බුවා ලැඟපු බෝක්කු කටේ මාර්ග සංවර්ධනෙන් ඇවිත් අරගෙන ගියේ ඔය අතරෙදිමයි. කාණු පල්ලේ උනත් ළැගලා පුරුදු සබ්බුවට ඒක එතරම් ගාණක් තිබුනේ නැහැ. ඌත් ට‍්‍රාන්ස්ෆෝමරේ යට ලගින්න ගියා. ඒ්ත් එක රැුයින්ම පුංචි එකාගේ කන්දොස්කිරියාව ඉවසගන්න බැරිව ඊට ටිකක් එහායින් තිබුණ වහළක් නැතිව වල් වැදුන පාලූ කඩ පිලේ නිදියන්න ගත්න ඌ පුරුදු උනා. සීලම්මා ඉන්පස්සේ සබ්බුව ගාවට ගියේ දෙගිඩියාවෙන්. මොකද පැංචාගෙන් අඩි කීපයක් හරි ඈත තැනකට යන්න වුන නිසා. ඒත් සබ්බුවා නැතිව ඉන්නත් ඒකිට බැරිවුනා. පැංචව එතනට අරගෙන යන්න ඒකිට හිත දුන්නෙත් නැහැ. තමන්ගේ හතිය කෙඳිරිය අස්ලේ පැංච ඇහැරුණොත් උගේ කෑ ගැහිල්ලට සබ්බුවා අකමැතියි.

ඔය අතරේ ට‍්‍රාන්ස්ෆෝමරේට නැමුණ ගහක් කපන්න නගර සභාවේ කොන්ත‍්‍රාත්තකාරයෝ ආව. වැඩ ඉවර කරල උන් ගියා. අතු ටික වැටිලා බාගෙට කැඩිලා ගිය ළඟ තිබුණ මාර ගහේ අත්ත ගැන උන්ට ගාණක් ගියේ නැහැ. සීලම්මට ගාණක් ගියෙත් නැහැ. සීලම්මා වෙනද වගේම පැංචව නිදිකරවලා තියලා මුළු ටවුමම නිදාගෙන ඉද්දී සබ්බුව ගාවට ඇදුනා. සබ්බුවා යාන්තම් නෙරාගෙන එන සීලගේ කුස දිහා බැලූවා. ගවුම් කඩමාල්ල එහෙ මෙහෙ කරලා බඩපත හෙමිහිට අතගෑවා. බෝක්කු කැටේ ඇතුලේ වාගේ නෙමෙයි කඩපිල සීතල වැඩියි. පින්න වැටිලා තෙතයි. ඒත් සබ්බුවගේ උණුහුම සීලට ඇති. කටේ පැත්තක් නැතිවුනත් සබ්බුව දිහාව සීලට අපුලක් නැතිව බලන්න පුළුවන්. හැඟීම් පිබිදිලා අවනත වුනත් තමන්ව කාල දාපු, තිරිසනෙක් වගේ තමන්ගේ දළු මසත් එක්ක ඔට්ටු වුන සිල්වා මහත්තයා දිහා එදා බලපු බැල්මට වැඩි දෙයක් සබ්බුවා දිහා බලපු සීලාගේ ඇස්වල තිබුනා. දැනුන කිතියට ඇස් දෙක පියවීගෙන එද්දී සීලට මහා සද්දයක් ඇහුනා. දෙන්නම දඩි බිඩියේම නැගිට්ටා. එකපාරටම ආව මහා ආලෝකය වටහාගන්න සීලට බැරිවුනත් සබ්බුවට අනතුර ඉව වැටුනා. දුවන්න හදපු සීලව ඇදලා පැත්තකට දාපු සබ්බුව ට‍්‍රාන්ස්ෆෝමරේ දිහාට දුවගෙන ගියා. බාගෙට කැඩිලා තිබුණ අත්ත වැටිලා කැඩුන වයර් එකට ගෑවිලා ගින්දර විහිදෙනවා. සර්පයෙක් වගේ ඇඹරිලා ගිය වයර් ට‍්‍රාන්ස්ෆෝමරේ යට අටවලා තිබුණ කාඞ්බෝඞ් ගොඩ උඩ වැටිලා. පැංචා කෑ මොර දෙනවා. සබ්බුවගේ පපු ගැස්ම නැවතුනා වගෙයි. ඈතින් කෑ ගහගෙන දුවගෙන එන සීලට කලින් ඌ එතනට පැන්නා. ඒත් අහේතුවකට ගිනි පුළිඟු විහිදි විහිදි කැඩිලා ගිය තවත් විදුලි රැුහැනක් සර්පයෙක් වගේ ඇවිත් සබ්බුවගේ වෙලූනා. සබ්බුවට තමුන්ගේ තොල් කෑල්ලක් නැති කටෙන් ‘‘හ්ම්’’ කියාගන්වත් බැරිවුනා. චිරි බිරි ගාලා අඟුරු වෙන සබ්බුව දිහාවේ සීලම්මා බලා හිටියේ උගුරේ හිරවුන කෑ ගැහිල්ලත් එක්ක. ගල් ගැහිලා වගේ මොහොතක් බලා හිටපු සීලම්මත් එතනට පනින්න හැදුවත් කොහෙදෝ ඉඳන් ආව පොලිස් කාරයෙක් ඒකිව ඇදලා දැම්මා. බිම වැටුන සීලම්මා වපර ඇහැත් ලොකු කරගෙන පිච්චිලා යන තමන්ගේ හැඟීම් දැක්කා. පැංචගේ කෑ ගැහිල්ල සබ්බුවගේ කටින් කතා කරනකොට එන ‘‘තල් තල්’’ සද්දේ වෙනුවට චට පට ගාලා අඟුරු වෙන තමුනගේ ආත්මේ දැක්කා. ගිනි ඇවිලූන කාඞ්බෝඞ් ගොඩ නිල් පාටට දැවිලා ගියා. ටිකකින් සෙනඟ පිරිලා ඇතිවුන කලබලේ මැද්දේ සීලම්මා විතරක් කලබලයක් නැතිව හිටියා. කවුදෝ තමන්ව හිරිකිතෙන් වගේ වත්තම් කරගෙන ගිහින් කඩපිලෙන් වාඩිකරවනවාත් මොන මොනවදෝ අහනවාත් ඈට එහා ලෝකෙකින් වගේ ඇහුනා.

ඉස්පිරිතාලේ අවසිහියෙන් සතියක් විතර ගතකරපු සීලම්මා ආයෙත් ට‍්‍රාන්ස්ෆෝමරේ ගාවට ආවා. කණු දෙක මැද්දේ තාමත් ඉතිරිවෙලා තිබුණ වැස්සෙන් පෙඟුන අළු ගොඬේ තිබුණ බාගෙට උණු වුන බේබි පවුඩර් ටින් එක සීලම්ම දුටුවා. වයර් ආපහු අමුණපු ට‍්‍රාන්ස්ෆෝමරේ එහෙමම තියෙනවා. අත්ත කැඩුන ගහත් කපලා ඉවත් කරලා. උණු වෙච්ච පවුඩර් ටින් එකට අළු ටිකක් පුරවාගත් සීලම්මා හෙමිහිට කුරුණෑගල වැව දිහාවට ගෑටුවා. බාගෙට නෙරපු බඩත් එක්ක සීලම්මා වැව රවුමේ බංකුවක් උඩ වාඩිවුනා. ගවුමේ කර ඉරිලා බාගෙට නිරාවරණය වුන තමන්ගේ නිරුවත ගැන සීලම්මට ගාණක් තිබුනේ නැහැ. තෙල බහින්න හවසට වැව රවුමෙ දුවන මහත්තයෙක් සීල දැකලා කෙළ ගැහුවට සීලට ඒක ඇහුනේ නෑ. තමුන් ගාවින් ගිය පෙම් යුවලක් බංකුව උඩට දාපු රුපියල් පහේ කාසියේ සද්දෙට සීලා බැලූවේ නෑ. ඈතින් රතුපාටට බැහැලා යන ඉර දිහා බලාගෙන සීලා මෙහෙම මිමිණුවා.

‘‘අන්තරාවයි... අන්තරාවයි...’’

තමන්ගේ නෙරපු කුස දිහා බලපු සීලා ඒක අත් දෙකෙන් අල්ලාගත්තා. ආයෙත් මිමිණුවා.

‘‘අන්තරාවයි... ආන්තරාවයි’’

ඒත් සීලගේ ඇස් වල කඳුළු තිබුණේ නැහැ. බැහැලා යන හිරුගේ රතුපාට ඒ ඇස්වල දිළිසුනා. අතේ තිබුණ පවුඩර් ටින් එක වැවේ ඈතට විසි කරපු සීලා ඒකෙන් විසිරුණ අළු පටලය හිරු එළියෙන් රතුපාටට දිලිසෙනව දැක්කා. ආයෙත් මිමිණුවා.

‘‘අන්තරාවයි... අන්තරාවයි...’’

-         නිමි -

ඩිලන්ත රත්නායක (2000)

---පිහාටුවෝ---

---පිහාටුවෝ--- හාත්පස පැතිරී ගිය වාලූකා තලයේ කැකෑරෙන උණුසුම අපට නොදැනෙන්නේ වායු සමනය කළ කැබ් රථයේ සැප පහසුව නිසාය. එකිනෙකට යාව තැනුන කාමරයක...