Thursday, October 13, 2011

---පිහාටුවෝ---

---පිහාටුවෝ---

හාත්පස පැතිරී ගිය වාලූකා තලයේ කැකෑරෙන උණුසුම අපට නොදැනෙන්නේ වායු සමනය කළ කැබ් රථයේ සැප පහසුව නිසාය. එකිනෙකට යාව තැනුන කාමරයක් තරම් විශාල තාවකාලික නිවාස පේලි අතරින් කැබ් රිය ඉදිරියට ඇදෙයි.

‘‘ඔය බලන්නෙ මොනව හරි ආධාර අරන් එනවද කියල. මට තේරෙන්නෙ නැහැ ඒ මානසිකත්වය කොහොම වෙනස් කරන්නද කියල...?’’

උවමනාවෙන්, සිනාමුසුව වාහනය දෙස බලන මුහුණු පෙන්වමින් ආශා අපට පවසයි.

”ජරා මිනිස්සු මිස්. මිස්ලමනෙ මිස් හුරතල් කරල තියෙන්නෙ.’’

සුමති ඉදිරිපස අව්රෝධකය අතින් සකසමින් පවසයි.


පුත්තලම නගරයේ සිට කල්පිටියට එන තෙක්ම තැනින් තැන දුටු අවතැන් කඳවුරු වෙනුවට මුලූ කල්පිටි ¥පත පුරාම පැතිරුණ විශාල කඳවුරු කලාප අතරට අප පිවිස ඇත. මේ කඳවුරු පිරී ඇත්තේ යුද්ධය විසින් උතුරෙන් පන්නා දැමුන මුස්ලිම්වරුන්ගෙනි. උපන් පොළවෙන් උගුලූවා දමන ලද මිනිසුන් කල්පිටියේ කැකෑරෙන වැල්ල මත මුල් බැස ගන්නට තනනු පෙනේ. තාවකාලික නිවාස පේළි අතර සිමෙන්තියෙන් බැඳ, හුණු පිරියම් කර වර්ණ ගැන් වූ නිවෙස් නැවත උපන් බිම වෙත නොයන්නට හිත් හදා ගත් අයෙකුගේ හෝ අනිත් උන්ට වඩා යහමින් මුදලක් උපයන්නෙකුගේ හෝ විය හැක.

කඳවුරේ කෙළවර පොදු භූමියේ වන ප‍්‍රජා ශාලාව අසලින් වාහනය නතර වෙයි. ප‍්‍රජා ශාලාවේ සිටින ගැහැණුන් කිහිප දෙනා ආශා හොඳින් හඳුනන බැව් පෙනේ.

‘‘කෝ මෙච්චරද ඉන්නෙ..’’

ආශා සුමති දෙස බලයි. ඔහු එය කැඩුන ද්‍රවිඩ බසින් කාන්තාවන්ගෙන් විමසයි.

‘‘තව එයිලූ මිස්. පණිවිඬේ උදේලූ ලැබුණෙ.’’   

ඔහු ලැබුණ පිළිතුර සිංහලට පෙරළයි.

‘‘මටත්  ටිකක් ටැමිල් පුලූවන් නැද්ද සුමති...?
‘‘සංජීව ! ඔයාලා ටිකක් ඇවිදලා අයිඩියා එකක් ගන්නකෝ. මම මෙයාලගෙ ප්‍රොබ්ලම්ස් කලෙක්ට් කර ගෙන එන්නම්. ආ.. පාතිමා.. කොහොමද ඉතින්..! පාතිමා ඉන්න නිසා දැන් අවුලක් නෑ...’’

ආශා එතනට පැමිණි කෙසඟ මුස්ලිම් තරුණියකගේ අතින් අල්ලා ගෙන අනෙක් ගැහැණුන් අසලට යයි. මම සංජීව අයියා සමඟ වැල්ලේ එරෙමින් ඉදිරියට ඇදෙමි. මුහුදු වැලි මත විවිධ ප‍්‍රමාණයන්ගෙන් දිරා ගිය බෙලි කටු විසිරී ඇත. මුහුදු වෙරළේ දිළිසෙන බෙලි කටු මෙන් ආසාවෙන් එකතු කරන්්නට තරම් මේවා සොඳුරු නැත. කඩතොඵ ගැසුණු අඳුරු බෙලි කටු සහිත සිනිදු වැල්ලෙන් මුඵ ¥පතම තැනී ඇත. නිසරු වැල්ල මත අමාරුවෙන් එසවුණු ගස් සෙවනක අරමුණක් රහිතව අප හිඳ ගත්තෙමු. අවැසි නම් යුද්ධයේ බිහිසුණූ බව පිළිබඳ ජනප‍්‍රිය සංවාදයකට මුල පිරිය හැක.

‘‘මොකද දැන් කරන්නෙ’’

සංජීව අයියා නිහඩතාවය බිඳ දමයි.

‘‘මෙහෙම දවසක් විතරක් කඳවුරකට ඇවිත් කොහොමද ඩොක්‍යූමන්ට්‍්‍ර එකකට රිසර්ච් කරන්නෙ. අනෙක ගෑණු ළමයි ගැන. මුස්ලිම් ආගමේ කාරණාත් එක්ක අපට එයාලගෙ ප‍්‍රයිවසි එකට එබිල ස්ත‍්‍රී ¥ෂණ වාගේ කාරණයක් කතා කරන්න පුළුවන් වෙයිද ? ’’

 ‘‘දවසකින් නම් මේ වැඬේ කරන්්න බෑ තමයි.’’

‘‘කලින් අර ෆේමස් ඩිරෙක්ටර් කෙනෙක් කලා කීව ඩොක්‍යූමන්ට්‍්‍ර එකට බර ගානක් ගියාලූ’’

‘‘ඒ වුනාට මහ බොරුවක්නේ. ස්ක‍්‍රිප්ට් එක ලියල තියෙන්නෙ කොළඹ ඉඳන් මේ පොළව ගැන මොකුත්ම නොදැනම අපිටත් හෙට යන්න වෙනවා. අඩුම තරමෙ අදහසක්වත් අරන් යන්න බලමු.’’

කුඩා දරුවන් පිරිසක් අප අසලින් යටි ගිරියෙන් කෑ ගසමින් දිවයයි. කුඩාම එකා වැඩිමල්ලන් පිරිසට බොහෝ පසුපසින් බකල ගසමින් හඹා යන්නේ වැල්ලේ එරෙමිනි .

‘‘මේ වැල්ල අඩි ගාණක්  යටට ඇති නේද?’’

‘‘මේත් ලංකාවනේ ඉතිං !’’

‘‘ආ අයියේ ආශාගෙ ඔතෝරිටි එක යටතෙද මෙහෙ එන්.ජී. ඕ. වැඩ කරන්නෙත් ?’’

‘‘හියුමන්ටේරියන් වර්ක්ස් ඔක්කොම ආශා මොනිටර් කරන්න  ඕනා. එයාගෙ රිපෝට් එක දෙන්නෙ එන්.ජී. ඕ. වල වැඩ මොනිටර් කරලා. එයාගෙ ප‍්‍රධානම වැඬේ එච්ආර්සී (මානව හිමිකම් කොමිසම* ඒකට ආශා එන්න කලින් වැඩ කළෙත් එන්ජී ඕ එකක. ගෑනි කැම්පස් කාලෙ ඉඳලම දක්‍ෂයි. කැම්පස් අවුට් වුනාට පස්සෙ මට සෑහෙන කාලෙකින් හම්බ උනේ නැහැ. ශ‍්‍රී ලංකා ෆවුන්ඬේෂන් එකේ වර්ක් ෂොප් එකක දී හම්බ උනාම ආයෙත් ලින්ක් එක හැදුනා. පුත්තලමෙ මානව හිමිකම් එකේ ප්‍රොජෙක්ට් මැනේජර් කියල දැනගත්තෙ ඒ වෙලේ. ගෑනි ඩොක්‍යුමන්ටි‍්‍ර එක ගැන කියද්දි මතක් වුනේ උඹලව. වැඩක් කරන්න හොය හොයනෙ හිටියෙ.’’

සංජීව අයියා දෙස විමසිල්ලෙන් බලමින් ප‍්‍රජා ශාලාව දෙසට යන කුඩා දැරියකි.

‘‘උංගලූඩෙයිය පෙයර් එන්න..?’’   

දමිළ කතා කිරීමේ ජනපි‍්‍රය ආශාව මැඩගත නොහැකිව මම දන්නා දෙමළෙන් කෑ ගසමි. මොහොතක් නතර වුණ දැරිය විමතියට පත්ව එකවර මුව පුරා සිනාසෙමින් දිව යන්නට විය.

‘‘කෙල්ලට පුදුම හිතුනද..? නැත්නම් මට වැරදුනාද දන්නෙ නෑ.’’

මම පවසමි. ආශාගේ රියදුරු සුමති අප වෙත එනු පෙනේ.

‘‘මිස්ට දුක් ගැනවිලි කියනවා. මුන්ට හැමදාම නඩු නම් තියෙනවා. හෙට ආයෙත් ෆස්ලි මහත්තයත් එක්ක එන්න වෙයි වගේ.’’

ඔහුට සෑම විටම කාට හෝ චෝදනාවක් කිරීමට ඇත.

 ‘‘මැඩම් කැපවෙලාම වැඩ නේද සුමති අයියා.’’

සංජීව අයියා සුමතිගෙන් විමසයි.

‘‘වෙනව..වෙනව...’’

ඔහු මොහොතක් කල්පනා කරයි.
‘‘ඒ උනාට කිසිකමකට නෑ... ගෑනු පරාණයක් උනාම ඔහොමද ?’’

‘‘ඇයි...?’’

‘‘මෙයාගෙ කිසි චාරයක් නෑ.. මහ පාන්දරම කලිසන් ගහගෙන පාරෙ බයිසිකල් පදිනවා.’’

‘‘ඒ වුනාට මැඩම් බොක්කෙන් ම වැඩනේ’’

‘‘ඔය බුදු උනා වාගෙ කතා කළාට එයාගෙ හරි වැඩ තියෙන්නේ. අහන්න එහෙම එපා.’’

සුමති අප වෙත තවත් ළං වෙයි.

‘‘අපි ආපු ආණ්ඩුවෙ වාහනෙත් අරන් වෙලාවකට කොණ්ඩෙ හදන්න යනව. මීගමුවටම ඔය කූරු කූරු හදාගෙන ආවෙ පෙරේද. සුමති අනේ යමු ඩියර්! කිව්ව මාත් ගියා. මම වෙලාවකට දොස් කියනවත් එක්ක. මම ගතු කියන්නෙ නෑ කියල ගෑනි දන්නව. හිතන්නකො... පුත්තලමෙ ඉඳන් මීගමුවට ගියේ.’’

සංජීව අයියා මදෙස බලයි.

‘‘හෙලෝ ගයිස් අපි යමුද..?’’

ආශා ඈත සිට කෑ ගසයි. සුමති අප නැගිටින විටත් ඉක්මන් පයින් එතනට ළඟා වනු පෙනේ.

‘‘මෙහෙ එන්ජී ඕ කරන්නෙම බොරුව. මම දන්නවනෙ හිටපු නිසා. අන්තිමේ දි මට එපා වුනා. මිනිස්සුන්ට බොරු පොරොන්දු දෙන්නෙ. මිනිස්සු හිතන්නේ ඒවට බාධා කරන්නෙ අපි කියල.’’

ආශා දුර තියාම අපට පවසයි.

‘‘කට්ටියට කියන්න ෆාතිමා හෙට ඔක්කොම පැමිණිලි පැහැදිලිව අරන් එන්න කියල. ලෝයර් මහත්තයත් හෙට එනවා හරි.’’

ඇය අප මුලින් දුටු කෙසඟ තරුණියට පවසයි. ඇය පර්දාවක් පළඳා ගෙන නොමැත. ප‍්‍රියමනාපය. මුස්ලිම් තරුණියකට වඩා ඇය සමීප ද්‍රවිඩ පෙනුමකටය.

‘‘ෆාතිමා මෙහෙ මොන්ටිසෝරියෙ ටීචර්. මගෙ යාළුවා. කාන්තා සමිතියෙ ලේකම් පොඩියට හිටියට.’’

ආශා ඇය අපට හඳුන්වා දෙන්නේ ඇය තුරුළු කරගනිමිනි. තරුණිය ලැජ්ජාවෙන් ඇඹරෙයි. ආශා වෙතින් මිදුණ ඇය අනෙක් කාන්තාවන්ට යමක් පැහැදිලි කරයි.

‘‘මොනව උනත් මේ ගෑනු පිරිමින්ට වඩා ෆෝවර්ඞ් සංජීව. පිරිමි පොදු දේවල් වලට එන්නෙ නැහැ. එයාලගෙ ලොකුම ප‍්‍රශ්නෙ හම්බ කරන එක, නැත්නම් රණ්ඩු කරන එක. මං ගාව ඔයාලට දෙන්න එක්ස්පීරියන්සස් ගොඩාක් තියෙනවා. ඒවත් වැදගත් වෙයි. සුමති අපි යමු ඩියර්. එහෙම නම් ෆාතිමා... කට්ටියටම වනක්කුම් ඇන්ඞ් නන්ඩි‍්‍ර කියල කියන්න.’’

ආශාගේ විකාර රූපී හැසිරීම ආශ්වාද ජනකය. තරබාරු, පැහැපත් නොවූ ඇය වයස තිස් පහකට පමණ ආසන්න වුව ද හැසිරෙන්නේ කුඩා දරුවෙකුගේ අභිනයෙනි. මට ඇගේ කොණ්ඩය දෙස බැලෙයි. ෆාතිමා අප යන දෙස බලමින් හිස නවා සිනාසෙයි. අප නැවතත් කඳවුර මැදින් ආපසු ඇදෙන්නට වන්නෙමු.

‘‘සංජීව මේ කඳවුරුවල ඛේදවාචකයක් තමයි හුඟාක් ගෑනු ළමයි වැඩිවිය පත් වෙන්නත් කලින් වර්ජිනිටි නැති වෙන එක. සිංහල, දෙමළ,  මුස්ලිම් කියල නෑ හැමෝම. කෙල්ලො කැලේට එනකම් කොල්ලො ගැන්සි සෙට් වෙලාලූ ඉන්නෙ. ඒත් ඒ කිසිම දෙයක් පැමිණිලි හැටියට පොලීසිවලට එන්නෙ නැහැ.’’

ආශා දිගටම පවසයි. මට කිසිදු අදහසක් නොනැෙඟ්. මේ සියළු දේ පිටපතකට නඟන සැටියක් මට සිතා ගත නොහැක. සෙමින් ඇදෙන වාහනයේ සිට මම ගෙවල් පේළි ඉදිරිපිට සිටින මිනිස් ?න් දෙස බලමි. සැඟවුන කතා දහස් ගණනක් පසු කර ගෙන මා ඉදිරියට ඇදෙමි.

‘‘අපි යන ගමන් අපේ පිහාට්ටව දාගෙන යමු. යන අතරෙ කතා කරන්නත් පුළුවන් නැත්නම් අල්ලන්න ලේසි නැහැ. මම කෝල් එකක් දුන්නා. ඉන්ටරස්ටින් මෑන්..’’

ආශා අප දෙස බලයි.

‘‘පිහාට්ට..?’’

‘‘ආ...ඒක මම දාපු නමක්. ලෝයර්ස්ලට මම කියන්නෙ පිහාටුවෝ කියල.’’

‘‘ක්ලෝක් එක නිසාද ? මිනිස්සුන්ට වඩා උඩින් ඉන්න නිසාද ?’’  මම අසමි

‘‘කොහොම හරි’’

වාහනය මහා මාර්ගයට පිවිසෙයි.

‘‘ෆස්ලි තමයි අපේ ප්‍රොජෙක්ට් එකේ ලෝයර්.’’

‘‘හොඳ මනුස්සයෙක් වෙන්න ඇති කොළඹ ඉන්නෙ නැතිව මෙහෙ දුක් විඳින්නෙ.’’

‘‘දුක් විඳිනවා..? මෙහේ..? අපිනෙ ළමයො මෙහෙ අඩු පඩියකට දුක් විඳින්නෙ. මෙහෙ තරම් ඉලාස්ටික් නඩු කොළඹ නෑ. මිනිහ ප‍්‍රැක්ටිස් කරන නඩු ගාණ ඇහුවොත් ඔයාල බය වෙයි.’’

කඳවුරු පෙදෙසින් ඉවත්ව කල්පිටිය නගරයේ මුල් පදිංචි කරුවන්ගේ යැයි සැලකිය හැකි නිවාස පංතියක් අතරින් වාහනය ඇදෙයි. ආශා දුරකථනයේ බොත්තම් ඔබයි.

‘‘හෙලෝ.. මිස්ට පිහාට්ටා ! වි ආර් ඔන් ද වේ..  ඕයි‘. ආර් යූ රෙඞී ?  ඕ..කේ..’’

උසැති වතුර ටැංකියක ‘සදාම් හුසේන්’ යනුවෙන් රතු පැහැයෙන් ලියා ඇත. ඊට පහළින් ‘ඩෙවිල් බුෂ්’ යනුවෙන්  ද ලියා ඇත.

‘‘ගල්ෆ් අර්බුදේ මෙහෙත් තියෙනවා නේද ?’’

මම සංජීව අයියාට පවසා සිනාසෙමි.
කළු පැහැති යුරෝපීය ඇ¥මකින් සැරසී වාහනය වෙත දිව එන පිරිපුන් පෙනුමැති මිනිසෙකි. ඒ ෆස්ලි ය.

‘‘ඇම් අයි ලේට් ආශා..?’’

‘‘අපෝ නෑ.. කෝ ඔයාගෙ පිහාටුව..?’’

‘‘ඔන්න ඔන්න මැඩම් අපට මඩ ගහනවා. කෝමද සුමති..?’’

ඔහු අප වෙත ද සුහද සිනාවක් පායි.

‘‘සංජීව, මේ ෆස්ලි මගෙ පිහාට්ටා’’

‘‘හෙලෝ..!’’

‘‘ෆස්ලි මේ සංජීව. මේ එයාගෙ යාළුවෙක්. සංජීව මගෙ බැචා. මේ මල්ලිත් යුනිවර්සිටි. ඩොක්‍යූමන්ටි‍්‍ර එකකට රිසර්ච් කරන්න ඇවිත්.’’

ෆස්ලි මුව පුරා සිනාසෙමින් අසා සිටියි. අපට පෙර ඔහු අපට අත දිගු කරයි.

‘‘ගුඞ් ! මොනව ගැන ද?’’

‘‘කඳවුරුවල ගෑනු ළමයි ගැන’’

ආශා අප වෙනුවට පිළිවදන් දෙයි.

‘‘මටනම් ඒක තේරුමක් නැහැ. ඔය ප‍්‍රශ්නෙ සිස්ටමැටිකලි වෙනස් නොවී අපට විතරක් සෝල්ව් කරන්න අමාරුයි.’’

ඔහු සිනාව බාල කරමින් අප දෙස බලයි.

‘‘මොට්ටයෝ එහෙම කියලා නිකා ඉන්නද ?’’

ආශා පිටුපසට හැරෙයි.

‘‘ඔයාට මොකද නේද ? නඩුවක් දෙකක් හරි එනවනේ. අපි මොනව හරි ඒකට කරන්න  ඕන මොට්ටයෝ.’’

‘‘එහෙම කියන්න එපා ආශා මට නඩු එන එක මේ පැත්තෙ වරදක්. ඒ මෙහෙ මුස්ලිම්ස්ලාගෙ හැටි. උපන් තැනින් ඇවිත් අයිති නැති බිමක වැටවල් ගහගෙන ආතක් පාතක් නැතිව රණ්ඩු කරනවා. තමුන්ගෙ ගෑණු ළමයි ගැන සැළකිල්ලක් නෑ. උන්ට තියෙන්නෙ තමන්ගෙ මේ එහෙටත් නැති මෙහෙටත් නැති ජීවිතේ ගැන ප‍්‍රශ්නයක්. නඩුවල කතාව  ඕක. ඔන්න කරනව නම් මේ ෆුල් පික්චර් එක ගැනම ඩොකි්‍යුමන්ටි‍්‍ර එකක් කරන්න. කොටින්ම මෙහෙ මිනිස්සු නඩු කියන්නෙ දැන් පුරුද්දට වගේ. තමන්ගෙ දුක  උසාවියෙ කෑ ගහල කියන්න උන් පුරුද්දක් හදා ගෙන.’’
‘‘පුරුද්දක් ?’’

සංජීව අයියා විමසයි.

‘‘ඔව්  මෙහෙ මිනිස්සුන්ගෙ පොළ දවස ටියුස්ඬේ. ගම්වල මුල් පදිංචිකාරයොයි කඳවුරුවල අයයි ගෙදර තියෙන එළවළුවක් මොනව හරි අරගෙන පොළට එන්නෙ එදාට ගේන ජාති ටික විකුණගන්නයි. ගොඩක් පිරිමි ආගමෙන් තහනම් උනාට පොඩි ෂොට් එකක් එහෙම දාගෙන කෙලින්ම යන්නෙ ලෝයර් හම්බවෙන්න. ’’

‘‘නඩු දාන්න ?’’

‘‘ඔව් නැත්නම් ඊළඟ නඩු දිනේ ආපහු මතක් කර ගන්න. එහෙමත් නැත්නම් නඩු දාන්න පොටක් තියෙනවද කියල හොයා ගන්න. ආශල අපට මඩ ගැහුවට සංජීව... ඒ මිනිසුන්ගෙ සොච්චමෙන්  අපට කරන්න දෙයක් නෑ. හුඟාක්ම තියෙන්නෙ වැට මායිම් නඩු. අපි කීයක් හරි හොයා ගත්තෙ ආශලගෙ පිහිටෙන්.’’

‘‘අනේ යනව යන්න. ඒ වුනාට අර කිරි බෝතල් උස්සන් එන මනුස්සයා නම් පව් ෆස්ලි. ඔයා හරි සවුත්තුයි. ඒ මනුස්සයව එහේ මෙහේ කරකෝනවා. ගිය සතියෙ දවසක උදේ පාන්දර මගෙ ඔෆිස් එකේ දොරකඩ එළු කිරි බෝතල් දෙකකුත් අරගෙන. අහපුවාම කියනවා උදව්වක් ගත්නලූ ආවෙ. මානව හිමිකම් නඩුවකට ෆස්ලි මහත්තයලූ එව්වෙ.’’

ආශා කඩා පනියි.

‘‘මට වෙන මොනවද ආශා කරන්න තියෙන්නෙ. මට ඒ ප්‍රොබ්ලම් එක වදයක් උනා. හැම සිකුරාදම මිනිහ පල්ලි යෑමත් නවත්තල ඇවිත් මගෙ ඔෆිස් එකේ වැලපෙනව. ඔයාට ඒකෙ ඉන්වෙස්ටිගේෂන් එකක් කරල සොලියුෂන් දෙන්න පුළුවන් නේ ආශා.’’

‘‘ඒ මනුස්සයගෙ ප‍්‍රශ්නෙ මොකක් ද මිස්ට ෆස්ලි’’
 
මම අසමි.

x                     x               x

ලතිෆ් පුත්තලමේ මුල් පදිංචිකාරයෙකි. නමුත් එල්.ටී.ටී.ඊ ය මඟින් උතුරෙන් පලවා හැරි නෑදෑයන් රැුසක් ලතිෆ්ගේ නිවෙස වටේම පැල්පත් අටවා ගෙන සිටිති. භක්තිමත් මුස්ලිම් බැතිමතෙකු වූවත් ලතීෆ් ද ඉඳහිට ඇඟ රත්කරගන්නට කැමතිය. නෑයන් සියල්ල කල්පිටිය අවට පැලපදියම් වී වසර ගණනක් ගත වන විට ඔවුන් තමාගේම වැට මායිම් තනා ගනිමින් සිටිති. මේවායේ මායිම් පිළිබඳ සුළු සුළු ආරවුල් ලතීෆ්ට නිතර ඇසෙයි. මේ සෑම එකකටම වඩා ලතීෆ්ගේ ජීවිතයට වැදගත් වූ යමක් ඇත. ඒ තමා රැුකියාවෙන් නෙරපූ ආයතනයෙන් වන්දියක් ගැනීමයි. තමා අදහන වටිනාකම්වලට යුක්තිය පසිඳලීමයි. මුස්ලිම්වරුන්ගේ විවිධාකාර නඩු තොගය අතරේ ලතිෆ්ගේ නඩුවද කෙළවරක් නොමැතිව රවුමේ යන්නේ මේ නිමිත්ත නිසාය.

x                     x               x


‘‘මිනිහ මුලින්ම වැඩ කරල තියෙන්නෙ පුත්තලමෙ සිමෙන්ති කෝපරේෂන් එකේ. සංස්ථාව ප‍්‍රයිවටයිස් කලාම මිනිහත් විසි උනා. ඊට පස්සේ රෝඞ් ඩිවලප්මන්ට් ඔතෝරිටි එකේ වැඩ පාටියක ඉඳල තියෙනව. එතන දි සුපර්වයිසර් කෙනෙක් එක්ක ගෝරි වෙලා යන්න උනා.’’

‘‘සිමෙන්ති කෝපරේෂන් එකෙන් වන්දි දුන්නා නේද ? අයින් කරපු අයට ?’’

මම ෆස්ලිගෙන් විමසමි. ආශා නැවතත් තම හිසකෙස් පිරික්සනු පෙනේ.

‘‘මහ ගාණක් හම්බ වෙලා නැහැ. මිනිහ ජැෆ්නා වලින් ආපු නෑයන්ටත් උදව් කරල. පස්සෙ මිනිහට කොහොම හරි එන්ජී ඕ එකක ජොබ් එකක් සෙට් වෙලා. පඩියත් ටිකක් හොඳයිනේ.’’

කල්පිටියට සරණාගතයන් වෙනුවෙන් පැමිණි රාජ්‍ය නොවන සංවිධානයක රැුකියාවක් ලතිෆ්ට ලැබුණි. පටු ඉඩක දෙමහල්ව නැංවූ ආයතන ගොඩනැගිල්ලේ අධ්‍යක්‍ෂවරයා ඉහළම මහලේ කාර්යාලය පවත්වා ගෙන ගියේය. අවශේෂ සේවකයන්් අනෙක් තට්ටු දෙකෙහි වැඩ කටයුතු කළහ. ලතිෆ් ආයතනයේ එකම කාර්යාල කාර්ය සහායකයා විය. දෙවන මහලේ අධ්‍යක්‍ෂවරයාගේ රාජකාරි බිම් මහලටත් පළමු මහලටත් අනුව ඉටු කිරීම ලතිෆ්ට පැවරී තිබුණි. සෝපානයක් නොවූ ගොඩනැඟිල්ලේ යකඩ පඩි පෙළ නැඟීම, බැසීම, කඬේ යාම, නැවත පඩි නැගීම, ලිපි ගොනු රැුගෙන යාම, පඩි නැවත පඩි සහ පඩි, කැඳවීම්, පඩි පණිවුඩ රැුගෙන නැඟීම්, බැසීම් ලතිෆ්ගේ සෑම දිනකම වැඩි වේලාවක් ඉටු කළ රාජකාරිය විය. ඍජු ආනතියකින් යුතු පඩි පෙළ නිතර ගමනකට කිසිසේත් සුදුසු නොවූයෙන් උදෑසන නිතරම සිනාසෙන ලතින් හවස් වන විට වේදනා දෙන දෙපාවලින් යුතුව වෙහෙසටත් කෝපයටත් පත් වෙයි. කෙසේ වෙතත් ලැබුණූ රැුකියාව රැුක ගත යුතුය. බිරිය ෆර්හානා  නිසරු පොළවෙහි මතු කර ගන්නා කේඩෑරි එළවළු වලින් හෝ එළුවන් දෙතුන් දෙනාගෙන් පමණක් දිවි රැුක ගත නොහැකි වග ලතීෆ් දනී.
x                     x               x

”එක දවසක් මිනිහට විසි තිස් පාරක්ම එක දිගට ඉහළ පහළ යන්න වෙලා හොඳටම තරහ ගිහින්. ඒත් මිනිහ තරහ පෙන්නන හාදයෙක් නෙවෙයි. හදපු රිපෝට් එකක් වැරදිලා ඒක කරෙක්ට් කරන් එන්න ලොක්ක ආයෙමත් මිනිහව ග‍්‍රවුන්ඞ් ෆ්ලෝ එකට එවලා. ඒක කරෙක්ට් කරන ටිකටත් මිනිහා ආයෙත් දෙපාරක් ඉහළ පහළ ගිහින් වැඩවලට. අන්තිමේ දී කරෙක්ට් කරපු රිපෝට් එක අරන් ලොක්කට දෙන්න කියද්දි මිනිහ ඉඳල තියෙන්නෙ හොඳටම කකුල් අමාරු වෙලා. මිනිහ නාකි නැති උනාට කොල්ලෙක් නෙවෙයිනේ. ”

‘‘ලතිෆ් රිපෝට් එකේ කරෙක්ෂන්ස්  ඕකේ. මේක ගිහින් ඩිරෙක්ටර්ට දෙන්න. ක්වික්.. ක්වික්.. මේක කලම්බු ඔෆිස් එකට ෆැක්ස් කරන්නත් තියෙනවා. ආ.. ගියපු ගමන්ම සෙකටි‍්‍ර නෝනටත් කියන්න ලන්ච් වලට පහලට එන්න කියල. හරි... බඩගිනියි.’’

මොහොතක් බලා සිටි ලතිෆ් ගැහැණිය සැප පුටුවේ වාඩි වී තමා දෙසට දිගු කරගෙන සිටින ලිපි ගොනුව අතට ගත්තේය.

‘‘මැඩම්  ඕක මැඩම්ට ගිහින් දෙන්න බැරිද ? සෙකටි‍්‍ර මැඩම්වත් හම්බ උනෑකි නේ..’’

‘‘මේ ලතීෆ්... මේක ඔයාගෙ ජොබ් එක. මට ගෙවන්නෙ මේ ඩොක්‍යූමන්ටේෂන්වලට හරි ද ?  ඕක දීල ඉක්මනට එන්න. මට කෑම එකක් ගෙන්න ගන්නත් තියෙනවා.’’

තරුණ ගැහැණිය ඔහුට පවසයි. අතට ගත් කඩදාසි ගොනුව රැුගෙන පඩි පෙළ නඟිනු වෙනුවට ලතිෆ් මොහොතක් කල්පනා කොට ගොඩනැඟිල්ලෙන් එළියට යන්නට විය.

‘‘ඔය කොහෙද මනුස්සයො යන්නෙ.  ඕක ගිහින් දෙනවා. කෑම පස්සෙ ගේන්න පුළුවන්.  ඕක ඉක්මනට  ඕන කිව්වා..’’

ගැහැණිය ඔහු දෙස බලමින් කෑ මොර දෙයි. දොරටු ආරක්‍ෂකයා ද ලතිෆ් දෙස බලා සිටියි. ලතීෆ් නැවතුනේ ගොඩනැඟිල්ල ඉදිරිපස ගොඩ ගසා ඇති පලංචියකින් ගැලවූ උණ ගස් අසලය. දිගු උණ ගසක් ඔසවා ගත් ලතීෆ් එහි සිහින් කෙළවරේ වූ පැල්ම දෙස බලා ලිපි ගොනුව එය තුළ රැුඳවීය. ඔහු විමතියෙන් බලා සිටින ආරක්‍ෂකයාව ද නොතකමින් නැවත ගොඩනැඟිල්ල අසලට යන්නට විය.

”ඒයි පිස්සුද ? මොකද බං ඔය කරන්නේ.”

 ආරක්‍ෂකයා කෑ ගසයි. තරුණ ගැහැණිය ද කාර්යාලයේ බිම් මහලේ අනෙක් කීප දෙනා ද ප‍්‍රහේළිකාවක් මෙන් එදෙස බලා හිඳියි.
ලතිෆ් ආයතන ප‍්‍රධානියා සිටින දෙවන මහලේ වීදුරු ජනේලය තෙක් ලිපි ගොනුව සහිත උණ ගස ඔසවන්නට විය. පළමු මහලේ කීප දෙනෙකුද ඉහළ නැගෙන උණ ගස දැක එය පිරික්සන්නට අද්දරට පැමිණෙයි. ඔවුන් ද විමතියෙනි.
දෙවන මහලට ළං වු උණ ගස කෙළවරින් ලතිෆ් එහි වීදුරු ජනේලයට තට්ටු කරද්දී මෑත් වූ තිරයෙන් විමතියට පත් අධ්‍යක්‍ෂ ලේකම්වරියගේ මුහුණත් පසුව විමතියට පත් අධ්‍යක්‍ෂවරයාත් ලතිෆ්ට දැක ගත හැකි විය.

”ඒයි  වට් ද හෙල් ඉස් දිස් ?”

අධ්‍යක්‍ෂවරයා ජනේලයෙන් එබෙමින් කෑ ගසයි.

”සර් රිපොට් එක. සෙකටි‍්‍ර නෝනට කෑමට පහලට එන්න කියලත් ඇන්ඩි‍්‍රයා මැඩම් කියන්න කිව්වා.”

ලතිෆ් දත් විලිස්සා සිනාසුනේය.

”එදාම මිනිහගෙ ජොබ් එක ඉවර වුනා. මාසයයි ඉඳල තිබුණෙ පඩියවත් දීල නෑ”

ෆස්ලි පවසයි.

”මාර පව්නෙ ඒ ගමනද මිනිහ ඔයාව හම්බ වෙන්න ආවෙ”

”ඔවි ආශා. මිනිහ මාව ටිකක් දන්නවා. සිමෙන්ට් කෝපරේෂන් කේස් එකේදිත් මම උදව් කළා. කොහොමත් නඩු කේස් හින්දම මින්ස්සු හැමෝවම අඳුනනව නේ. රස්සාව නැති වෙලා පහුවදාම මිනිහ මාව හොයා ගෙන ආව.”

”මොකද මිනිහ කිව්වෙ”

”මම තමයි මිනිහට අයිඩියා එක දුන්නෙ පව් කියලා. මම කිව්වා වන්දියක් ගමු මම උදව් කරන්නම් කියලා. මම නම් සල්ලි බලාපොරොත්තු උනේ නැහැ. මාර වැඩක් ඒ ගමන උනේ. අර එන්ජී ඕ එක සඞ්න්ලි වැනිෂ්ඞ්. හිටි ගමන්ම ෆන්ඞ්ස් නැවතිලා ඒක වැහුනා. මම ට‍්‍රයි කළේ නඩුවක් නොදාම කේස් එක විසඳන්න. එන්ජී ඕ එක මිනිහගෙ වැඩ කරපු ටිකේ මුදල් දෙන්නම් කිව්වා. ඒත් මම කිව්වා එයාල මනුස්සයට සළකල තියෙන විදිය අන්තිම වැරදියි මිනිහගෙ හියුමන් රයිට්ස් ගැන හිතලවත් නෑ කියලා. වැඩක් උනේ නෑ.. අන්තිමේ දී ලතිෆ්ට  ඕන උනා නඩුවක් දාන්න. නඩුවක් දාල ඔය කේස් එක වාත වෙන බව මම දන්නවනෙ ආශා. ඒත් මම හිතුවෙ ඇවිල්ලම මිනිහට එපා වෙයි කියල. කොහෙද..?”

බිරිඳගේ අතින් උණුසුමැති එළකිරි බෝතලය ද රැුගෙන ලතීෆ් ගෙයින් එළියට බැස්සේ ෆස්ලි මහතා හමු වීමට යාමටය.

”වන්දි ගන්න කියලා ඔහේ කොයිතරම් කල් පුත්තලම් ගියාද? මම ඔහේට සල්ලි ඉල්ලලා වද කරන්නෙ නෑ නේ. අපි පුඵවන් හැටියට ඉමු.”

”දන්නැති දේ කියන්න එපා අම්මා. ෆස්ලි මහත්තයා මම හොඳට අඳුනනවා. මගෙන් සල්ලි ගන්නෙත් නෑ. මම තමා බලෙන් වගේ කීයක් හරි දෙන්නේ. මේ අඵත් කිරිවලට මහත්තයා හුඟාක් කැමති වෙයි. කඬේ තියෙන පල් කිරි වාගෙ නෙවේ නේ”

ලතීෆ් බිරිඳ දෙස නොරුස්සනා බැල්මක් හෙලමින් වැලි තලය දිගේ ඇවිද යයි.

ෆස්ලිට වදයක් වූයේ දික් ගැසෙන නඩුවට පෙනී සිටීම නොවේ. නඩුව මාසයකට කල් ගියද ලතීෆ් හැම සතියකම සුපුරුදු එඵ කිරි බෝතලය ද සමඟ ඔහු බලන්නට පැමිණීමය.

”මේ අහනවා ලතීෆ් මේකෙ කෙළවරක් නැති වෙයි. ඒ මදිවට ඒ එන්ජී ඕ එකත් වහල. මට තේරෙන්නේ නෑ. ඔහේම තමයි තීරණය කරන්න  ඕන.”

”මම සෑහෙන්න ණය වෙලා සර් ඉන්නෙ. මම ආයෙ වෙන රස්සා හොයන්නෙ කෝමද සර්. මේ වන්දිය ගන්්න ක‍්‍රමයක් ඇත්තෙම නැද්ද?”

”මේකට කම්කරු උසාවි ගියාට වැඩකුත් නෑනෙ ලතිෆ්. හියුමන් රයිට්ස් කේස් එකක් නම් තමා. මොනව උනත් තමුසෙට තිබුනෙ ඉවසන් ඉන්න. උන වැඬේ නම් හරි නෑ තමා.”

ලතීෆ් ගිලී ගිය ඇස් කෙවෙනි තුලින් තම නොඉවසිලිමත් දෑස යොමයි.

”දැන් ඒව වැඩක් නෑ සර්. මනුස්සයො වාගෙ ඉන්ඩනෙ මේ ඔක්කොම ඇයි..? මේ මටම හැමදේම හ්ම්...”
”මෙහෙම කරන්න ලතිෆ් ඔයාගෙ වැඬේට උදව් කරන්න පුඵවන්  නෝනා කෙනෙක් ඉන්නවා මානව හිමිකම් එකේ. මම තැන කියන්නම්. ගිහින් කතා කරල බලන්න. මම ඒ නෝනට කියන්නම්කෝ.”

x                     x               x

හිරු තවමත් නැෙ`ගමින් තිබෙනවා පමණි. ව්‍යායාමයෙන් හති වැටුණ ආශා මවුන්ටන් බයිසිකලය ආයාසයෙන් පදිමින් කාර්යාලය දෙසට ඇදෙයි. එඵ කිරි බෝතලය දෝතින් ගත් ලතිෆ් ඇගේ පෙරමගට පැමිණෙයි. මුව පුරා ඇඳුන බලාපොරොත්තු සහගත බයාදු සිනාව ආශාගේ කුතුහලය සඟවා ගත් දහදිය නැඟුන මුහුණට හමු වෙයි.

”මොකද මහත්තයා.... මොකක්ද ඔයාගෙ ප‍්‍රශ්නෙ”

ඇගේ උවමනාවට වඩා විනීත ස්වරය නැෙ`ගයි.

”මැඩම් බලන්න ආවේ ෆස්ලි මහත්තයා මට මැඩම්ව හම්බ වෙන්න කිව්වා”

”තාම ඔෆිස් ටයිම් නෙවේනෙ....”

”අනේ මැඩම් මට මග හරින්න එපා. මගෙ නඩුවට උදව් කරන්න. මට වන්දි අරන් දෙන්න. මම දුක් විඳින මිනිහෙක් මැඩම්.”

”හරි හරි මට විස්තරේ කියන්නකෝ... මම ඇඳුම් මාරු කර ගෙන එන්නම්. එනකම් ඉන්න හොඳේ...”

ලතීෆ්ට දැන් නම් පිහිටක් ලැබෙන බව සහතිකය. මානව හිමිකම් මැඩම් ඔහුගේ නඩුව අසන්නට සූදානම්ය.

x                     x               x

”ෆස්ලි මට මේ කේස් එක ක්ලියර් ඒත් කරන්න දෙයක් හිතා ගන්න බෑ. කම්පැණි එකේ ඒරියා එකට මේ කේස් එක අහු වෙන්නෙ නෑ.. ප්ලීස් ඔයා ඒ මනුස්සයට ඇත්තම කියන්න. සතියට දෙතුන් පාරක්ම දැන් කිරි බෝතල් අරගෙන මිනිහ මාව හම්බ වෙන්න එනවා කිරි මාම වගේ. ඔයා නම් රියල් පිහාට්ටා මිනිස්සු වටේ යවනවා නේ. ”

ආශා ෆස්ලිට ඇඟිල්ල දිගු කර සිනාසෙමින් පවසයි.

”ආශා මම විතරද ? මෙහෙ මිනිස්සුන්ට උඩින් පිහාඹන පිහාට්ටො ගොඩාක් ඉන්නවා. ලතිෆ්ලට එයාල හෝප්ස් විසි කරනවා. රියලි මම කොළඹින් මෙහාට ආවෙ සල්ලි හොයන්න. ඒත් මට මේ වගේ සිද්ධි හරිම ෂොක්. මොනව හරි කරන්න පුඵවන් නම් කොච්චර හොඳද ? එත් ලෝ එකට හියුමන් රයිට්ස්වලට මේ මිනිස්සු අහුවෙන තැන මට තේරෙන්නෙ නෑ. උපන් බිමටත් ආගන්තුක මේ මිනිසුන්ටනෙ අපි හියුමන් රයිට්ස් ගැන එවයානස් කරන්නේ. අපිමයි මෙහෙම ඒව තියනව කියල කියල දෙන්නෙ. මේ මිනිස්සු... මේ මිනිස්සු ඒවයින් ගොඩ යනව වෙනුවට ජීවිතේ ඒවත් එක්ක දරුණුවට පටලවා ගන්නවා.”

”මට කරන්න කිසි දෙයක් නෑ ෆස්ලි. ඔයා මට වඩා නීතිය දන්නවනේ. මම ඊළඟ පාර ආවම කීයක් හරි දීල කියනව මිනිහට ඇවිත් වැඩක් නෑ කියල.”

ආශා කතාවට අවසානය තබයි. වාහනය පුරාම නිහඬතාවයක් නැගෙයි. විරුද්ධ දෙසින් විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල විවිධ ධජ දරා ගත් සුදු පැහැ වාහන අප පසු කරමින් යයි. ආශාගේ කාර්යාලයට අප තව මොහොතකින් ළඟා වන්නෙමු. ආශා නැවතත් තම අත් කැඩපතෙන් තම කොණ්ඩය පිරික්සයි. පිටත ඇති උණුසුම හෝ ශබ්දය අපට නොදැනෙයි. නො ඇසෙයි. මුහුදට සමාන්තරව ඇදෙන වාහනයේ වේගය පැයට කිලෝ මීටර් සියයකට ආසන්නය. දෙපසින් අපට විරුද්ධව පැමිණෙන මෙන්ම අප යන දෙසටම යන මිනිසුන් ද ඉතා වේගයෙන් අපට පසු වෙයි.  කොහොමත් ඒ මුහුණු මතක තබා ගැනීම වෙහෙසකි. එකම හැඩයකින් යුතු ජීවය සිඳුන, මුහුණ කට බොඳ වුන මිනිස් රූ වලට වඩා වේගයෙන් මේ වාහනය ඇදෙයි. ඉගිලී යා යුතුය. මේ මිනිසුන්ට ඉහළින් නම් නොවේ. මොවුන්ගෙන් ඈතටම.

-නිමි.-
 ඩිලන්ත රත්නායක (2004)
                                                          
                                                                       

---පිහාටුවෝ---

---පිහාටුවෝ--- හාත්පස පැතිරී ගිය වාලූකා තලයේ කැකෑරෙන උණුසුම අපට නොදැනෙන්නේ වායු සමනය කළ කැබ් රථයේ සැප පහසුව නිසාය. එකිනෙකට යාව තැනුන කාමරයක...